සැමට එක ලෙස සලකන කියුබානු නිදහස් අධ්‍යාපන ක්‍රමය

96

අද වනවිට ලංකාවේ පවතින දිගුකාලීන ගැටළුවක් විදියට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම හදුන්වන්න පුළුවන්. බොහෝ කාලයක පටන් විටින් විට මතුවෙන මෙම ගැටලුව හමුවේ විශ්ව විද්‍යාල සිසුන්, විවිධ වෘත්තීය සමිති හා ලාංකීය උගතුන් මෙන්ම දේශපාලන පක්ෂ ද ඊට එරෙහිව විවිධාකාර උද්ඝෝෂණ මාලාවන් දියත් කරනඅන්දම වර්තමානයේදී අපට ජනමාධ්‍ය හරහා දැකගන්න පුළුවන්.

ඒ ආකාරයෙන් පෞද්ගලීකරණය සිදුකරන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට තරම් ධනයක් නොමැති නිසාවෙන් යන මතය සමාජගත වී තිබෙනවා. නමුත් නිදහස් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සලකා කටයුතු කරන රටවල් ලෝකයේ ඇති බව ඔබ නොදන්න කරුණක් වන්නට පුළුවන්. ඒ නිසාම මේ ලිපිය හරහා අප එලෙස කටයුතු කරන ලොව රටවල් අතර ප්‍රමුඛස්ථානයක් දරණ කියුබානු අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විස්තරයක් ගෙන එන්නට සිතුවා.

මොකක්ද මේ නිදහස් අධ්‍යාපනය කියන්නේ?

එක් අයෙකුට හෝ පිරිසකට තම අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කිරීමට අවස්ථාව සැලසීම හෝ ඊට අනුබල නොදී අධ්‍යාපන කටයුතු කිරීමට සැලැස්වීමත් එලෙස ලබාගන්නා අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය විදියට හඳුන්වන්න පුළුවන්.

කියුබානු ඉතිහාසය

කැරිබියානු රටක් ලෙස හඳුන්වන කියුබාව දිගු ඉතිහාසයක් හිමි රටක් විදිහට හඳුන්වනවා. දේශිය ජනතාව සාමකාමීව ජීවත් වුවත් අපට මෙන් ඔවුන්ටද විදේශීය ආක්‍රමණයන්ට මුහුණ දීමට සිදුවූනා. 1492 වර්ෂයේ කොලොම්බස් නම් ප්‍රසිද්ධ නාවිකයාගේ ආගමනයත් ඒහරහා පැමිණි ස්පාඤ්ඤ හා යුරෝපීය ආක්‍රමණත් නිසා 1762 අගභාගය වන විට නිදහස් කියුබානු රාජ්‍යය ස්පාඤ්ඤ පාලනයට නතුවනවා. අප්‍රිකානු වහලුන් ගෙන්වා සිදුකල දුම්කොළ, කෝපි හා ප්‍රධාන වශයෙන් උක් වගාවෙන් කියුබානු ආර්ථිකය හැසිර වූ ස්පාඤ්ඤ ජාතිකයින් 1898දී ඇමරිකානු ආක්‍රමණ හේතුවෙන් කියුබාව ඇමරිකානු පාලනයට ලබා දී කියුබාවෙන් ඉවත්වෙනවා.

ඉන්පසු කියුබානු රාජ්‍ය ඇමරිකාවේ පාලනයට නැවත යටත්වනවා. මූලිකව උක්වගාව රටේ සිදු වූ අතර බහුතරයක් කියුබානු වැසියන්ට වහලුන් ලෙස තම ශ්‍රමය ඇමරිකානු පාලනයට ලබා දෙන්නට සිදුවෙනවා.

නමුත් පාලනය බොහෝ කලක් සිදු කරගෙන යාමට නොහැකිවීම නිසාම මෙම රාජ්‍ය යලි යටත්විජිතකරණයට යොමු කළ ඇමරිකානුවන් තමන්ට හිතවත් පාලනයක් කියුබාවේ ස්ථාපිත කොට ඍජුව පාලනය කිරීමෙන් 1902 දී ඉවත්වනවා. ඉන්පසු පාලනය ගෙනගිය පාලකයන් අතරින් බැටිස්ටා නම් පාලකයා පිළිබඳව බොහෝ විට ඔබ අසා ඇති. කාලයත් සමග ඔහුගේ පාලනය කෙරෙහි ජනතාවගේ විරෝධයන් උත්සන්න වීම හරහා වාමාංශික පාලනයකට මග සැලසීම 1953 වන විට ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වය මගින් සිදු කළ අතර ඊට සමාජවාදී රටවල් බොහොමයක උදව් ලැබී තිබුණා. උදාහරණයක් විදියට චේ ගුවේරා ආගමනය හඳුන්වන්න පුළුවන්.

එලෙස සිදු වුවත් අද වන විටත් ඇමරිකාව හා කියුබාව අතර සීතල යුද්ධයේ සලකුණු විටින් විට ජනමාධ්‍ය හරහා අපට දැනගන්නට පුළුවන්. කියුබානු අධ්‍යාපනය පිලිබදව පැහැදිලි වටපිටාවක් ගොඩනැගීම සමාජවාදී පාලනයෙන් පසු සිදුවීම නිසාවෙන් එරට සමාජවාදය පිහිටුවීම පිළිබඳව කරුණු දැන ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වනවා.

කියුබානු අධ්‍යාපන ක්‍රමයේ ඉතිහාසය හා විශේෂතා

ජන සංගණන වාර්තාවලට අනුව 2017 වනවිට කියුබාවේ ජනගහණය 11,389,643 ලෙස සටහන් වනවා. බැටිස්ටා පාලන කාලයේ කියුබාවේ ළමුන්ගෙන් 44%ට පමණක් අධ්‍යාපනය සීමා වී පැවතුණා. මුලු ජනගහනයෙන් 23%ක සාක්ෂරතාවක් පැවතුණා. නමුත් ෆිදෙල් පාලනය සමග නව පිබිදීමකට පත්වූ කියුබාව පළමුව පල්ලි හරහා ක්‍රියාත්මක වූ පෞද්ගලික අධ්‍යාපන ආයතන තහනම් කරන ලද අතර ඒ වෙනුවට 100%ක් රජය විසින් පවත්වාගෙන යන අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කරන්නට කටයුතු කළා.

එහිදී ෆිදෙල්ගේ දැක්ම වූයේ “ අධ්‍යාපනයේ අරගලය සාර්ථක කරගත හැක්කේ ප්‍රායෝගික පුහුණුව මතයි. එය න්‍යායික ඉගෙනුම මත පමණක් රඳා පැවතිය නොහැක” යන්නයි. එනම් සමාජය දියුණු වීමට නම් සමාජීය මිනිසාට දියුණු නිදහස් අධ්‍යාපනයක් ලබා දීම අත්‍යාවශ්‍ය බවයි. අද වනවිට කියුබාව පවතින තත්වයට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක කළ අධ්‍යාපන සැලසුම පහත විදියට දක්වන්න පුළුවන්.

කියුබානු පාසල් උදෑසන 6.30ට ආරම්භ වන අතර පැය 12 ක කාලයක් විවෘතව පවතිනවා. එහිදී ඔවුනට දහවල් ආහාරය නොමිලේ ලබාදෙන අතර විෂයන් විදියට සෞඛ්‍ය, කලාව, ක්‍රීඩා, ස්පාඤ්ඤ භාෂාව, තොරතුරු තාක්ෂණය, සමාජවාදී ඉතිහාසය හා දේශපාලනය, කර්මාන්තයන්, ආර්ථික විද්‍යාව, නීතිය, නව තාක්ෂණය, ගණිතය ආදී බොහෝ විෂයන් උගන්වනු ලබනවා. බොහෝ විට සිසුන් කණ්ඩායම් ලෙස මෙම ඉගැන්නුම්වලට සම්බන්ධ කරන අතර ඔවුන්ට තනිවම ඉගෙනීමේ අවස්ථාවද සලසා දෙනවා. එමගින් ඔවුන්ට නිදහසේ ඉගෙනුමට හා තරගකාරීත්වයෙන් මිදීමට කියා දෙනවා. එලෙසම ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව ඔවුනට ඉගෙනුමට අමතරව සමාජ සේවාවන්වලද නිරත විය යුතු වනවා.

සියලුම පාසල් එකම පහසුකම්වලින් ක්‍රියාත්මක වන අතර ගුරුවරුන්ද සෑම පාසලකම සමානව වැඩ කටයුතු කරනවා. ඊට උදාහරණ විදියට දැනට ග්‍රාමීය පාසල් 2000 පමණ සිසුන් 20 කට වඩා අඩු ප්‍රමාණයකින් පවත්වාගෙන යනවා. ඒ සියලු පාසල්වලටත් අනෙක් පාසල් වලට මෙන්ම එක ලෙස අධ්‍යාපනය ලබාදෙනවා. ඊට අමතරව විශේෂ අවශ්‍යතා ඇති ළමුන් වෙනුවෙන් නිවසටම ගොස් උගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. එලෙසම විශේෂ අධ්‍යාපනික පාසල් 425ක් පමණත් එහි ගුරුවරුන් 13,600ක් පමණත් රැකියාවේ නිරතවනවා. දැනට සමස්ථ රටෙහිම ගුරුවරුන් 200,000ක් පමණ සේවයේ නිරත වනවා.

ද්විතියික අධ්‍යාපනයෙන් පසුව සිසුන්ට උසස් අධ්‍යාපන වරම් හෝ තාක්ෂණික පුහුණුව ලබා දී රැකියාවලට සුදානම් කිරීම සිදු කරන අතර එය සිසුන්ටම නිදහසේ තීරණය කිරීමේ අවස්ථාවද සලසාදී තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල ගත්විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 63වන තැන ලබා ඇති හවානා විශ්ව විද්‍යාලය බොහෝ විට ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. ඊට අමතරව රටපුරා විශ්වවිද්‍යාල 60කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. විදෙස් සිසුන් 22,700කට පමණ මේ වන විටත් නොමිලේ අධ්‍යාපන වරම් ලබා දීමට කියුබානු රජය කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව කියුබානු රජය විසින් අධ්‍යාපනයට ලබාදෙන දායකත්වයන් පහත පරිදි දක්වන්න පුළුවන්.

ජාතික ආදායමෙන් 13% කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් කිරීම හා එලෙස ලොව අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන් කරන රට වීම
ප්‍රාථමික පාසල්වල ගුරු සිසු අනුපාතය 1:9 ලෙස පවත්වා ගැනීම
ලතින්ඇමරිකානු රටවල් අතර ඉහළම අධ්‍යාපනයක් ලබා දෙන රට වීම
පසුගිය වසර 50ක කාලයක් තුළ ප්‍රාථමික පාසල් 25,000කට ආසන්න ප්‍රමාණයක් අලුතින් ආරම්භ කිරීම

කියුබානු අධ්‍යාපනය හරහා එරට ලබාගත් ජයග්‍රහණ

අධ්‍යාපනයේ සාර්ථකත්වය නිසාම අද වන විට සාක්ෂරතාව වැඩිහිටි පිරිමි-99.75 , වැඩිහිටි කාන්තා-99.8 ,තරුණ පිරිමි-99.87, තරුණ කාන්තා-99.9 ලෙස වර්ධනයක් ලබා තිබෙනවා. එමෙන්ම ලෝකයේ බොහෝ සෞඛ්‍ය ගැටළු පැන නැගීමේදී මුලින්ම ආධාර ලබාදෙන රටක් විදියටත් කියුබාව හදුන්වන්න පුළුවන්. ඒ තරමටම එරට වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු වීමයි. තවද එරට වැසියන්ගෙන් 10%ක් උපාධිධාරීන්වීමද විශේෂිතතාවක් වනවා.

මොහොමඩ් අක්‍රම්

Comments

comments