ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (පුද්ගලික) සමාගම තුළ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කමිටුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SriLankan Airlines Limited) සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (Airport and Aviation Services (Sri Lanka) (Private) Limited) තුළ සිදුවූ බවට චෝදනා කෙරෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපතිවරයා ඊයේ (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී කමිටු සාමාජිකයන් හමු වී ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය.
එම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම තුළ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් නොමැතිකම හේතුවෙන් මෙම ආයතන බොහෝ දුරට අකාර්යක්ෂම වී ඇති බවයි. මෙම සිදුවීම්වලට අදාළ සියලු කරුණු විමර්ශනය කර කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, තත්ත්වය නිවැරදි කිරීමට සහ අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා කමිටුවෙන් ඉල්ලා සිටියේය.
කමිටුවේ කැඳවුම්කරු සහ සාමාජිකයින් සඳහා වූ පත්වීම් ලිපි ඊයේ (22) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විසින් භාර දෙන ලදී.
ඒ අනුව, මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ ලේකම්/කැඳවුම්කරු වන්නේ ජනාධිපති අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ මහතා වන අතර, අනෙකුත් සාමාජිකයින් වන්නේ විශ්‍රාමික විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඥානසිරි සේනානායක මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති දුෂාන්ත බස්නායක මහතා, නීතිඥ දොන් චමින්ද ජේ. අතුකෝරල මහතා සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ. එච්. කේ. විජේරත්න මහතා ය.
මෙම කමිටුව විසින් 2010 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (පුද්ගලික) සමාගම තුළ සිදුවූ බවට චෝදනා කෙරෙන පහත සඳහන් වැරදි විමර්ශනය කරනු ඇත:
- ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ නීති විරෝධී වරප්‍රසාද ලබා ගැනීම.
- සේවා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමේදී සහ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිවල අක්‍රමිකතා.
- ගුවන් ආරක්ෂක අඩුපාඩු.
- තීරුබදු රහිත වෙළඳසැල් ගනුදෙනු සහ විදේශ විකුණුම් නියෝජිතයන්ගේ ගනුදෙනු හා ක්‍රියාකාරකම් සම්බන්ධ විෂමතා.
- ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ පරිපාලන දෝෂ, දූෂණ, අක්‍රමිකතා සහ/හෝ බාහිර මැදිහත්වීම්.
- වසර 2000 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් යානා මෙන්ම රුපියල් මිලියන දහය ඉක්මවන භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය, බදු දීම හෝ අත්පත් කර ගැනීමේදී සිදුවූ දූෂණ හා අක්‍රමිකතා.
ජේ. සී. වෙලියමුණ කමිටු වාර්තාවේ සහ විගණකාධිපතිගේ විශේෂ පරීක්ෂණ වාර්තාවේ ඉස්මතු කර ඇති වැරදි තීරණ, වංචා, දූෂණ සහ අක්‍රමිකතා සඳහා වගකිවයුත්තන් හඳුනා ගැනීමට ද කමිටුවට පැවරී ඇත. මෙම ගැටලු නිවැරදි කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ අනාගතයේදී සමාන තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය මග පෙන්වීමක් ලබා දීම ද කමිටුවේ අරමුණයි.