ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා සහ ප්‍රංශ රජයන් සිය ද්විපාර්ශ්වික ණය ගිවිසුමට අදාළ ක්‍රියාත්මක කිරීමේ ලිපි නිල වශයෙන් අත්සන් කර ඇති බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙම ගිවිසුම අත්සන් තබනු ලැබුවේ, 2024 ජූනි 26 වන දින ශ්‍රී ලංකාව සහ රටේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන නිල ණයහිමි කමිටුව (OCC) අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MoU) පසුවයි. මෙම රාමුවේ කොටසක් ලෙස, දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් 2025 ජූනි 16 වන දින අත්සන් කරන ලදී.
මෙම ගිවිසුමට අනුකූලව, ශ්‍රී ලංකාවේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රංශ රජය නියෝජනය කරන බලයලත් ආයතන වන Agence Française de Développement (AFD), Bpifrance Assurance Export, සහ Banque de France සමඟ ක්‍රියාත්මක කිරීමේ ලිපි අවසන් කර ඇත.
AFD සමඟ ක්‍රියාත්මක කිරීමේ ලිපිය අත්සන් කිරීමේ උත්සවය 2025 ජූලි 24 වන දින මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අත්සන් තැබූ අතර, ප්‍රංශ රජය නියෝජනය කරමින් AFD හි රට අධ්‍යක්ෂ යසිඩ් බෙන්සයිඩ් මහතා අත්සන් තැබීය.
ඉන් අනතුරුව, Bpifrance Assurance Export සහ Banque de France සමඟ ද ක්‍රියාත්මක කිරීමේ ලිපි අවසන් කරන ලදී.