මාලදිවයිනේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (ජූලි 28) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමුත්තන්ගේ සමරු පොතෙහි සමරු සටහනක් තැබීමෙන් අනතුරුව, දෙරටේ නායකයෝ නිල ඡායාරූපයකට පෙනී සිටියහ.
ඉන් අනතුරුව, දෙරටේ නායකයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ අතර, සාකච්ඡාවලින් පසුව වැදගත් ගිවිසුම් දෙකක් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.
මෙම ගිවිසුම් අතරට, මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (Bandaranaike Diplomatic Training Institute) අතර අවබෝධතා ගිවිසුමක් (MoU) සහ අන්‍යෝන්‍ය නීති ආධාර පිළිබඳ ගිවිසුමක් ඇතුළත් වේ.
මෙම ගිවිසුම් මගින් මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර විවිධ ක්ෂේත්‍රයන්හි සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පළමු ගිවිසුමේ අරමුණ වන්නේ අපරාධ සම්බන්ධ කාරණා වලදී අන්‍යෝන්‍ය වශයෙන් නෛතික සහාය ලබා දීම වන අතර, දෙවන ගිවිසුම රාජ්‍යතාන්ත්‍රික පුහුණුව සහ ඊට අදාළ තොරතුරු හා ලේඛන හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුමකි.
මාලදිවයින වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා කලීල් මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම ගිවිසුම් හුවමාරු කර ගන්නා ලදී.
ඉන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා මෙම රාජ්‍ය සංචාරය පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළහ.