වත්මන් සමාජයේ කාන්තා නායකත්වය ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, එම අවශ්‍යතාවය සපුරාලීමේ හැකියාව ශ්‍රී ලංකා බාලිකා මාර්ගෝපදේශිකා සංගමය සතුව පවතින බව පැවසුවාය.
අගමැතිනිය මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බාලිකා මාර්ගෝපදේශිකා සංගමය විසින් අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබූ ජනාධිපති බාලිකා මාර්ගෝපදේශිකා සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.
ඊයේ (01) පැවති මෙම උත්සවයේදී, බාලිකා මාර්ගෝපදේශිකාවකට ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය වන ජනාධිපති බාලිකා මාර්ගෝපදේශිකා සම්මානය මාර්ගෝපදේශිකාවන් 306 දෙනෙකුට පිරිනැමුණු අතර, අග්‍රාමාත්‍ය බාලිකා මාර්ගෝපදේශිකා සම්මානය 18 දෙනෙකුට ප්‍රදානය කෙරිණි.
උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය පැවසුවේ වයස අවුරුදු 8 සිට දැරියන්ව, දේශයට නායකත්වය දීමට අවශ්‍ය ශක්තිමත් සහ පූර්ණ චරිතයක් ගොඩනගා ගනිමින් විවිධ අභියෝගවලට මුහුණ දීමට මෙම ව්‍යාපාරය තුළින් ඔප් නංවන බවයි.
“ශ්‍රී ලංකා බාලිකා මාර්ගෝපදේශිකා සංගමය විසින් පිරිනමනු ලබන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. 1917 දී මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය අද වන විට දිවයින පුරා ව්‍යාප්ත වී තිබෙනවා. මෙමගින් වයස අවුරුදු 8 සිට දැරියන්ව, දේශයට නායකත්වය දීමට අවශ්‍ය ශක්තිමත් සහ පූර්ණ චරිතයක් ගොඩනගා ගනිමින් විවිධ අභියෝගවලට මුහුණ දීමට සූදානම් කරවනවා.”
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එවැනි ශක්තිමත් අනාගත පරපුරක් බව පැවසූ අගමැතිනිය, සම්මානලාභීන්ගේ කැපවීම මෙන්ම ඔවුන්ගේ සාර්ථකත්වය පිටුපස සිටි දෙමාපියන්, ගුරුවරුන් සහ මාර්ගෝපදේශක නායිකාවන්ගේ සහයෝගය ද ප්‍රශංසනීය බව සඳහන් කළාය.
“මම ඔබ අමතන්නේ අග්‍රාමාත්‍යවරිය ලෙස පමණක් නොව, කුඩා කල ‘කුඩා මිතුරියක්’ ලෙස මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූවෙක් ලෙසයි. එදා මා ලැබූ අත්දැකීම් මගේ ජීවන ගමන පුරාවටම මට මග පෙන්වූවා. මෙම සංගමය ගැහැනු ළමයින් සවිබල ගැන්වෙන, සෑම දැරියකටම රටේ අනාගතය හැඩගැස්වීමට දායක වීමට අවස්ථාව ලැබෙන පරිසරයක් නිර්මාණය කරනවා. එවැනි ව්‍යාපාරවලින් අප බලාපොරොත්තු වන්නේ එයයි,” ඇය පැවසුවාය.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ද මෙවැනි දරු පරපුරක් පෝෂණය කිරීම අරමුණු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නාය.
“අපගේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් තුළින් අප ඉලක්ක කරන්නේ ද නායකත්ව ගුණාංගවලින් සහ දයාවෙන් පිරිපුන් දරුවෙකු සමාජයට දායාද කිරීමයි,” ඇය වැඩිදුරටත් පැවසුවාය.