තම භාරයේ ඇති BYD විද්‍යුත් වාහන 991ක්, කොන්දේසි කිහිපයකට යටත්ව නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව එකඟ වූ බව බ්‍රහස්පතින්දා (07) අභියාචනාධිකරණයට දන්වන ලදී.
ආනයනය කරන ලද වාහන දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සීජී ඔටෝ පුද්ගලික සමාගම විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි.
අධිකරණයට ඉදිරිපත් වූ කරුණු දැක්වීම්වලට අනුව, මතභේදයට තුඩු දී ඇති තීරුබදු වෙනසට අදාළව, දළ වශයෙන් රුපියල් බිලියන 3.6ක මුදලක් රාජ්‍ය බැංකුවක් හරහා බැංකු ඇපකරයක් ලෙස ලබා දිය යුතු බවට රේගු දෙපාර්තමේන්තුව නියම කර ඇත. ඊට අමතරව, එම ඇපකරයට අදාළ පොලී පිරිවැය දැරීමට ද පෙත්සම්කරු එකඟතාව පළ කර තිබේ.
මුලින් රඳවාගෙන සිටි වාහන 997 න්, වාහන හයක් දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා තවදුරටත් රේගු භාරයේ තබා ගැනෙන අතර, ඉතිරි වාහන 991 යෝජිත කොන්දේසි යටතේ නිදහස් කිරීමට නියමිතය.
යෝජිත කොන්දේසිවලට පෙත්සම්කරු අර්ධ වශයෙන් එකඟ වීමෙන් අනතුරුව, දක්වා ඇති කොන්දේසි යටතේ වාහන නිදහස් කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණය හමුවේ කැමැත්ත පළ කළේය.